Tuesday, July 28, 2015

අනික් අය හිතන දේවල් හා කියන දේවල්

මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ තමන්ට ඕනෙ විදියට නෙවෙයි. අනික් අයට ඕනෙ විදියට. එතකොට ඇත්තටම ඒගොල්ලො තමන්ට ලැබිච්ච ජීවිතේ අනුන් වෙනුවෙන් ජීවත් වෙලා. මේක හරියාකාරව වටහා නොගත්තොත් ගැටළුවක්. මොකද අපි අනික් අයට උදව් කරන්න ඕනෙ, සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෙ. ආදරයෙන් කරුණාවෙන් දේවල් බෙදා ගන්න ඕනෙ. අපේ අම්ම, තාත්ත, සහෝදර සහෝදරියො එතකොට නෑදෑයො, යාලුවො , ආදරවන්තයො මේ හැමෝම එක්ක ජීවිතේ බෙදා ගත්තට, යන්න ඕනෙ අපේ ගමන.

මොකද තමන් තමන්ට ඕනෙ විදියට ජීවත් උනේ නැත්තම් අන්තිමට කල්පනා වෙනවා මම ජීවත් වෙලා නෑ කියල. හැබැයි ඒකත් අවබෝධයෙන් කරන්න ඕනෙ.මොකද තමන්ට ඕනෙ විදියට කියල අනික් අයට කරදරයක් වෙන විදියට එතකොට අනික් අයගෙ දේවල් අයුතු විදියට තමන්ගෙ ප්‍රයෝජනයට ගන්න එක නෙවේ මේ කියන්නෙ. ඉපදුණේ තනියම. එතකොට අවසන් ගමන යන්නෙත් තනියම. එතකොට මේ ඉපදීමෙ ඉඳලා මැරෙනකල් මට ලැබෙන කාලය මම තව කෙනෙක්ගෙ ගමනක් යන්න යොදා ගැනීම මට තේරෙන විදියට විහිලුවක්. මම යන්න ඕනෙ මගේ ගමන.

ඒ වගේමයි මිනිස්සු අපි ගැන කියන කතා. අපි කොහොම හිටියත් මොනා කරත් මිනිස්සු විවිධ විදියට ඒක  දකිනවා. එක එක අදහස් පල කරනව. දැන් හිතල බලන්න අපි හිටගත්තත්, ඉඳ ගත්තත්, කෑවත්, බිව්වත්, සල්ලි තිබ්බත්, නැතත්, ලස්සන උනත්, කලු උනත්, සුදු වුනත්, කසාද බැන්දත්, නොබැන්දත්, ළමයි හැදුවත්, නොහැදුවත්, කොටට ඇන්දත්, දිගට ඇන්දත් කොහොමත් මිනිස්සු කතන්දර කියනව. ඒක  ඉතින් සදාතනික ලෝක ස්වභාවය. ඒගොල්ලො කවදාවත් කතා කියන එක නවත්තන්නෙ නෑ. සමහර විට හොඳ කියනවා. සමහර විට නරක කියනවා. හිත සැනසෙන ඒවා කියනවා. ඒ වගේම දුක හිතෙන දේවල් කියනවා.මේවා කෙළවරක් නෑ. 

මේ දේවල් නිසා හිත සැලුනොත් ඒ කියන දේවල් අනුව අපේ ජීවිත ඒ අයට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගෙන යන්න ගියොත් ඔබට අවසානයේ මහා පසුතැවීමක් දුකක් ඇති වේවි.

ඒ නිසා හැමෝම කියන දේවල් වලට ඇහුම් කන් දෙන්න. හැබැයි ඒ අනුව තමන්ගෙ ජීවිතේ තමන්ට නැති වෙන තත්වයට පත් කර ගන්න එපා. හැමෝම මේ ලෝකෙ ඉන්නත් ඕනෙ . අනික් එක දැන් කියන දේ නෙවේ අපි තව මාසෙකින් අවුරුද්දකින් කියන්නෙ.  අනික් අයත් ඒ වගේමයි. මේ දේවල් දිහා බලාගෙන තමන්ගෙ ජීවි ගමනේ හබල තමන් අතට අරන් ගනාන්තය දක්වා යන්නයි අපිට තියෙන්නෙ.
ඒ නිසා ඔබේ ගමනට අනෙක් අයව බාධාවක් කර නොගන්න. 





By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.