Monday, August 31, 2015

යහපත් පැවැත්ම

මේ ලෝකය තුල  ඔබ යම්කිසි යහපත් දෙයක් කරන්නේ නම් හෝ යහපත් ජීවන රටාවක් රෝපණය කරන්නේ නම් හෝ අනික් මිනිසුන්/සමාජය එය එකවර පිලි ගන්නේ නැත.ඔවුන්ට එය  පිලිගැනීමට යම් කාලයක් ගත වේ.  බොහෝ මිනිසුන් දැක ඇත්තේ සාමය, ආදරය, සහජීවනය,පරිත්‍යාගය නොව ද්වේශය හා මෝහයයි. ඉතින් ඔවුන් වසර ගණනාවක් ජීවත් වූ ජීවන රටාව  අනුව ඔවුන්ගේ ජීවිත හැඩ ගැසී ඇත. ආදරය දැක නැති මිනිස්සු හා ආදරය නොදන්නා මිනිස්සුන්ට ආදරය ගැන කිව්වාට එය නොතේරේ. අඩ දබර මැද කුලල් කාගෙන ජීවත් වූ මිනිසුන්ට සාමය යනු කුමක්දැයි නොතේරේ. වසර ගනනාවක් පුරා සොරකම් කල මිනිස්සුන්ට සොරකම් නොකර සිටීමට එකවර නොහැක.

නමුත් මේ ලෝකය තුල මේ සියල්ල වෙනස් කිරීමේ හැකියාවක් ඇත. වී වපුරා අස්වැන්න නෙලා ගැනීමට යම් කාලයක් ගතවේ. ඒ වාගේම යම් කිසි යහපත් ගුණාංගයක්, ජීවන රටාවක් , එසේත් නැත්නම් මෙලොව මිනිසුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබ කරන යම් ක්‍රියාවක් පල දැරීමට කාලයක් ගතවේ. නමුත් වී වපුරා අස්වැන්න නෙලා ගත හැකිවාක් මෙන්ම මෙයද කළ හැකි දෙයකි.

කේලම් කියා, අල්ලස් දීමෙන් තනතුරු කරා යන මිනිස්සු වගේම තමන්ගේ හැකියාවෙන් උපරිම අවංකව සේවය කිරීමෙන් ඉහළ තනතුරු කරා යන මිනිස්සුද මේ ලෝකයේ සිටී. මේ දෙකොටසම එක හා සමානව මේ ලෝකයේ පවතී.නිවැරදි මාර්ගය කුමක් දැයි තීරණය කිරීම ඔබට අයත් කාර්යයකි.

මම/ඔබ සියල්ලන්ටම හොඳින් එක හා සමානව සලකමින් ගැටීමකින් හෝ තණ්හාවකින් තොරව ජීවත් වුවත්, කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවුනත් අවට සමාජය ඒ සියල්ල දෙස බලන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයෙනි. යථාර්තය/ඇත්ත ස්වභාවය දකින්නේ නැත. ඒක මේ ලෝකයේ ස්වභාවයයි.  එය සිහියෙන් හා නුවණින් අවබෝධ කරගෙන අවට සමාජය විසින් ඔබව කුමන ආකාරයෙන් දැක්කත් මේ ලෝකයේ යහපැවැත්ම වෙනුවෙන්  දායක වීම අත් නොහරින්න. මම වගේම ඔබටත් අනික් අයටත් යම් දිනක නිවැරදි දේ සත්‍ය දේ අවබෝධ වනු ඇත.

යහපත් පැවැත්ම  නැමති ධාන්‍ය වපුරා අස්වැන්න නෙලීමට යම් කාලයක් ගත වුවත්  සියලු දෙනාගේ හිත සුව පිණිස එය හේතු වේ.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.