Saturday, October 3, 2015

ජීවිතය ගලා යන ගංගාවක්................

ජීවිතය ගලා යන ගංගාවක් යයි මට හැඟේ. හැමවිටම මෙය සතුට අසතුට, සැප දුක යන ඉවුරු අතරින් ගලා බසී. මේ ගලා යන ජීවිත ගංගාව ගලක් , මුලක්, කන්දක් ආදී වශයෙන් බාධකයක් හමු වූ කල්හි කලබල වේ.  මේ කලබල වීම නිසා අපි සතුටට, දුකට, වේදනාවට , මුලාවට පත් වේ. මෙයයි ස්වභාවය.

මේ අයුරින් මුලාව, වේදනාව ආදිය ඇති වන විට සිත දූෂණය වේ. සමතුලිත තාවය බිඳ වැටේ. ඔබත් මමත් පුරුදු විය යුත්තේ සතුටේදී අනවශ්‍ය ලෙස උදම් නොවීමටත් දුකේදී පසුතැවිලි නොවීමටත් ය. එවිට අපි නිදහස් වෙමු.  අපි හොඳ සිදුවන විට හොඳ වන්නේ නම් නරක සිදුවන විට නරක් වන්නේත් නම් ඇත්තටම සතුන් හා අපි අතර වෙනසක් නැතැයි මට සිතේ.

බාධක අනන්ත අපමණ හමු වේ. නමුත් බාධක මග හැර ජීවිත ගංගාවට ගලා යා හැක. 

මිනිසුන් ගඟෙන් වතුර බී පිපාසය සංසිඳුවා ගනී. තවත් අය ගඟට බැස නා පිරිසිදු වේ. තවත් අය ගඟේ රෙදි සෝදයි. තව මිනිසුන් ගඟට අපවිත්‍ර දෑ කැලි කසල එකතු කරයි. තවත් අය ගඟට කෙළ ගසයි.  සමහර අය ගඟේ සුන්දරත්වය දැක සිත පහදවා ගනී. තවත් අය මේ ගඟේ පැවැත්ම හෝ නැති කර තම තමන්ගේ රැකීම පිණිස එය යොදා ගන්නා හැටි සිතයි. සමහර අය ගඟට ආදරය කරයි තවත් අය ගඟට වෙර කරයි. ගඟ මූලික කරගෙන කොපමණ දේ සිදුවේද? අපේ ජීවිතත් මේ වගේමයි.

ඔබත් මමත් මොහොතකට ගඟ යයි සිතුවොත් අපට හමු වන විවිධ මිනිසුන් මේ ආකාර නොවේද යන්න ඉතාම හොඳින් පැහැදිලි වේ. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී ගලා යාමයි ගඟේ කාර්යය. ජීවිතයත් ගලා යන ගංගාවක් සේ බොහෝ දුරක් ගමන් කර අවසාන වේ. 

සියලු තැන්හි සිදු වෙන්නේ චක්‍රයකි. මේ චක්‍රාකාර ස්වභාවය හැම දේකම පවතී.  ඇත්තෙන්ම නොනවත්වා ක්‍රියාත්මක වෙන චක්‍රයකි. 

අපේ ජීවිත හා ගලා යන ගංගාවක ස්වභාවය අතර ඇති සමානකම ජීවිතාවබෝධය ඇති කරයි.







By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.