Saturday, October 10, 2015

උත්සාහය හා අවබෝධය

ඔබට/ මට යම් කිසි සිතුවිල්ලක් යථාර්තයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය යයි සිතන්න.  මේ වෙනුවෙන් ඔබ යම් කිසි උත්සාහයක් නොදරා සිතුවිල්ලකින් පමණක් එය පහල වේ යයි කිසි විටක නොසිතන්න. සිතූ පමණින් පැතූ පමණින් යමක් යථාර්තයක් බවට පත් වේ නම් ඒ මනුෂ්‍ය ලොවේදී නොව දෙව් ලොවේදී විය යුතුයි.

උදාහරණයක් කීවොත් ඔබට දක්ෂ ක්‍රීඩකයෙක් වීමට අවශ්‍ය නම් ඔබ ඒ වෙනුවෙන් පුහුණුවීම් කල යුතුයි. නිකන් ඔහේ උඩ බලාගෙන හිටියාට සිතුවිල්ලෙන් මා යම් දවසක දක්ෂ ක්‍රීඩකයෙක් වේ යයි සිතුවාට එය ඉටු නොවේ. ඉතින් මෙය භෞතික ලෝකයට , ආධ්‍යාත්මික ලෝකයට ආදී වශයෙන් වෙනස් නොවේ. මෙය නොවෙනස් පොදු සත්‍යයකි.

වරෙක මට හැඟුන ආකාරයට නිර්වාණය යනු යම් කිසි ඉලක්කයක් වෙනුවෙන් ගමන් කිරීමක් නොවේ. මොකද ආධ්‍යාත්මික මාර්ගයේ එය සිදු වන්නේ ඔබ ජනෙල් දොරවල් හැර තැබුවොත් සුලඟක් පැමිණෙන්නාක් මෙන් විය යුතුය.  එය හරියට පන්සල හොඳට පිරිසිදු කර දෙවියන්ට පැමිණීමට සුදුසු ආකාරයට සකසා තැබුවොත් දෙවියන් පැමිණෙනවා වගේය. අවශ්‍ය ක්‍රියා මාර්ගයන් අනුගමනය කරමින් සුදුසු පරිසරය නිර්මාණය කිරීමයි අප කල යුත්තේ.

ඔබ දන්නවා යයි සිතන තාක් ඔබට දැන ගැනීමට නොහැක. ඔබ නොදන්නා බව දන්නේ නම් ඔබට දැන ගැනීමට පුලුවන. මාත්/ඔබත් නොදන්නා දේ බොහෝය. අපි හැමෝම හැම දේම දැන ගැනීමේ ක්‍රමයක් නැත. අවශ්‍යද නැත.  අවශ්‍ය පමණට දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්ය. දැනුම හා අවබෝධය අතර වෙනස  පැහැදිලි වේ.

යම් රෝගී තැනැත්තෙක් සුවය ලබා දීමට අවශ්‍ය නම් කල යුත්තේ තැනට සුදුසු අයුරින් අවබෝධයෙන් ප්‍රතිකාර කිරීම මිස, දන්නා සියලු දැනුම භාවිතා කර  සියලු ඖෂධ ලබා දීම නොවේ. නමුත් ඉක්මන් සුවපත් වීමට අවශ්‍ය පරිසරය ඔබට නිර්මාණය කල හැක.

මටත් ඔබටත් යම් ගමනාන්තයක් දක්වා යාමට, යහපත් සිතුවිලි මුදුන් පමුණුවා ගැනීමට නම් උත්සාහය හා අවබෝධය අත්‍යාවශ්‍යය. 

අපට යමක් නොලැබුණේ යයි කිසිවෙකුට දොස් පැවරීම නොව කල යුත්තේ අප සතු ශක්තියෙන් උත්සාහයෙන් කටයුතු කර අරමුණු සාක්ෂාත් කර ගැනීමයි.






By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.