Saturday, October 10, 2015

අතීත මතක පොදිය

මටත් ඔබටත් අපි හැමෝටමත් ඉතිහාසයක් / අතීතයක් ඇත. මේ අතීතය යනු කුමක්දැයි මේ මොහොතේ සිතන්න. අන් කිසිවක් නොව අතීතය යනු මතක පොදියකි. ඔබ යම් බරක් ඔසවාගෙන යන තාක් වෙහෙසත් බරත් දැනේ. මේ අතීත මතක පොදියත් එසේමයි. ඔසවාගෙන යන තාක් බර දැනේ, දුක දැනේ, පීඩනය හා තෙරපීම දැනේ.  මොහොතකට මේ පොදිය පැත්තකින් තබන්න. ඔබට දැනෙන සැනසීම හා නිදහස අපමණය.

ඔබත්, මමත් අපි සියල්ලන්මත් අතර කිසි වෙනසක් නැත. අපි හැමෝටම අතීතයක් ඇත. මේ අතීතය ගැන අප කතා කරන වාර ගනනත් බොහෝය. යම් සැනසිලිදායක මතකයක් නම් එය සතුටක් ජනිත කරන අතර යම් අසතුටුදායක සිතුවිල්ලකින් දුකක් ඇතිවේ. 

මේ කියන අතීතයට අප කිසිවෙක්ට නැවත යා හැකිද? කල්පනා කර  බලන්න .නොහැක. අතීතයේ පැවැත්ම අපේ සිත හා මතකය හා බැඳී පවතින්නක් පමණකි. වර්තමානයේ මේ මොහොතේ පමණකි  ඔබ පවතින්නේ. අතීතය ඔබ පසු කරගෙන පැමිණ හමාරය. ඔබ ජීවිතය අත් විඳිය යුත්තේ වර්තමානයේ මේ මොහොතේ පමනි.

අතීතය ඔහේ තිබුනාවේ. අපි උගත් පාඩම් මේ මොහොතේ අපේ පැවැත්මට උපකාරවත් උනාවේ. අපේ මුහුනට සිනාවක් ගෙන එන , සිත් පහන් කරවන මතක පවා ඔහේ තිබුනාවේ.
  
අපිට හමු වන බොහෝ මිනිසුන් අතීතයේම ජීවත් වේ. සතුටුදායක මතකයක් සමග නම් ඇත්තෙන්ම යම් තාක් දුරකට එය කමක් නැත. නමුත් දුක ඇති කරවන යමක් නම් එයින් මිදෙන්න. සිතන්න මගේත් ඔබගේත් සියලු ධනය අතීතයේ යම් මිනිසෙක් විසින් සූක්ෂම අයුරින් කොල්ල කාගෙන ගියා කියා. එය නැවත අපට නොලැබුනාය කියා. මේ ගැන සිතා ලත් වීමෙන් පලක් නැත. මහා විශාල ණයකින් නිදහස් වීමක් සිදු උනා යයි සිතන්න. ඔබ නොකල දෙවල් ගැන කිය කියා යම් මිනිසෙක් ඔබට බනිමින් අවමන් කරමින් සිටින්නේ යයිද මේ මිනිසා විසින් පෙර දවසක නොයෙක් අලාභ හානි ඇති කලා යයිද සිතන්න.  ඔබ මේ කිසිවක් වෙනුවෙන් ශෝක නොකරන්න. ඔබට යමෙක් බැන්නේ නම් අපහාස කලේ නම් එය ඒ පුද්ගලාගේ ප්‍රශ්නයක් මිසක් අපට අදාලත්වයක් නැත.මට බැන්නා කියා මගේ හිත රිදේ නම් ඒ මම "මම" ගැන සිතා සිටිනා ආදරයෙන් ඇති දැඩි කරන ප්‍රතිරූපයට යම් හානියක් වේ යයි ඇති බය නිසාය.

අනික සිත රිදුනේ නම් ඒ ඔබ විසින් ඔබ ගැන ඇති කරගත් මානසික ප්‍රතිරූපයට හානි වූ නිසා ඔබට ඇති වූ කම්පාවකි. ඔබට ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකිනම් කම්පාවක් නැත. 

සිදු වී හමාර වූ අතීතයක එලබ ගෙන මේ වර්තමාන මොහොත නැති කරගන්න එපා.අතීතයේ සිදු වූ දේ අතීතයට භාර දෙන්න. 

මට සෙන් කතාවක් මතක් වේ. සෙන් හාමුදුරුවරු දෙන්නෙක් ගමනක් යමින් සිටියදී විශාල වතුර වලකින් එගොඩ වීමට තිබුනේලු. එක්තරා රූමත් කාන්තාවක් මෙයින් එගොඩ වීමට නොහැකිව එතන සිටියේලු. වැඩිහිටි භික්ෂුව මේ කාන්තාව ඔසවාගෙන ගොස් වතුර වලෙන් එගොඩ කලාලු. ඇය ස්තූති කර නික්ම ගියේලු. මෙය දුටු අනෙක් භික්ෂුව පන්සලට පැමිනීමෙන් පසු වැඩිහිටි භික්ෂුවට අමනාපයෙන් කීවේ ඔබ කල වැඩේ වැරදිය කියායි. වැඩිහිටි භික්ෂුව පිලිතුරු දුන්නේ මා ඒ කාන්තාව වතුර වලෙන් එගොඩ තබා පැමිණියා. නමුත් ඔබ තවම ඇය ඔසවාගෙන යන්නේය යනුවෙනි. 

අතීතය වැදගත් කමක් ඇත.වර්තමාන පැවැත්ම කෙරෙහි එයින් ලද ඵලයන් ඇත. ඇති වූ අවබෝධයන් ඇත. නමුත් බරක් කරගෙන ඔසවා ගෙන යා යුතු නැත අතීතය.

අපි හැමෝම අතින් අත් වැරදීම්, මෝඩ කම් සිදුවේ. වැටි වැටී මිස එකපාරට නැගිට ඇවිද යා නොහැක.  නමුත් දිනක ඇවිද යා හැක.

වර්තමානය අත් විඳීමට අතීත මතක පොදියේ බරෙන් නිදහස් විය යුතුය. සැනසීම එතන ඇත.







By: වින්ධ්‍යා හේවාවිතාරණ


No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.