Thursday, September 22, 2016

සසර නිර්මාණය වෙන හැටි හා එතෙර වීම


අපි ජීවත් වෙන කාලය තුල යම් යම් දේවල් කැමති සහ අකැමති වශයෙන් සාපේක්ෂව වර්ග කරන්නෙමු. මේ වර්ග කිරීමෙන් අපි කැමති දේවල ඇලෙන අතර අකැමති දේවල් වල ගැටෙන්නෙමු. මේ ඇලීම් හා ගැටීම් සසර නිර්මාණය කරයි.

අපි බොහෝ දෙනෙක් මෙන්න මේ වගේ. මොනවහරි රසවත් දෙයක් කෑවම නැවත නැවත ඒක කන්න උවමනා වෙනවා.ඒ රසයට ඇලීම නිසා. ලස්සන දෙයක් දැක්කම ආයෙ ආයෙ බලන්න ඕනෙ වෙනවා. රූපයට ඇලීම නිසා. මිහිරි ශබ්ද ආයෙ ආයෙ අහන්න උවමනා වෙනවා. මේ විදියට පන්චේන්ද්‍රිය විවිධ  අරමුණු වල ඇලෙනව.

අපිට කවුරුහරි බැන්නොත් ඒක නැවත් නැවත් මතක් කර කර සිතෙන් ගැටෙනවා. අපි අකැමති දෙයක් සිද්ද උනොත් ඒත් ගැටෙනවා.මේ විදියට කවුරුහරි කෙනෙක් හොඳ කීවම ඒ ගැන පහන් සිතකුත් වරදක් කීවම නොපහන් සිතකුත් ඇති වෙනවා. මේ ක්‍රම දෙකම මධ්‍යස්ථය නෙවේ. කිසිම දෙයක් ප්‍රතික්ශේප නොකර ඒ වාගේම භාර නොගෙන ඉන්න පුලුවන් නම් අපි උපේක්ෂා සහගතයි.

අපේ ඇස, කන , නාසය, දිව , ශරීරය කියන මේවට දැනෙන දේවල් නිතරම වෙනස් වෙනවා. මොකද මේ අපිත් හැම මොහොතකම වෙනස් වෙන නිසා. මේ අරමුණු කිසිම දෙයක් ස්තිරයි කියල ගත්තු තැන දුක ඇති වෙනවා.

මිනිස්සු හැම දේම කරන්නෙ සතුට සැපත හොයන්න. එකකින් අනෙකට , තව එහෙකට වශයෙන් නොයෙක් අරමුණු වලට ගිහින් බලනවා සතුට තියනවද කියල. ඒත් ඒ හැම සතුටක්ම තාවකාලිකයි.

ඇතිවෙමින් නැතිවෙමින් , සාපේක්ෂව සියලු දැනීම් ඔස්සේ යන අපිට මේකෙ ස්ථිරත්වයක් දකින්න බෑ. කිසිම නිය වූ සතුටකුත් නැහැ.

මුලින්ම අපි හැමදේම දකින්නෙ භෞතික මට්ටමෙන්. මේ විදියට දැකල ටික කාලයකින් පස්සෙ මනස මගින් දේවල් දකිනවා. මනස හා භෞතිකත්වය ඔස්සේ දේවල් දැකලා ඊලඟට ආධ්‍යාත්මයට සම්බන්ධ වෙනවා. එතන්ට ගියාට පස්සෙ අපි වෙනස් වෙනවා බොහෝ දුරට.  මේ වෙනස් වීමත් එක්ක ඇලීම් , ගැටීම් බොහොම අඩු වෙනවා. මොකද මේකෙ තේරුමක් නැති බව දැනෙන නිසා.

අපිට ජීවිතේ සියලු මොහොතවල් ඒ මොහොත ,මොහොතින් මොහොත මුහුණ දීගෙන ජීවත් වෙන්න පුලුවන් නම් (ඉදිරියට ගෙන යාමකින් තොරව ) සසර නිර්මාණය වීම නවතිනවා. ගොඩක්ම මෙතන්ට එන්න තමයි අපි හැමෝටම අමාරු. අපිට නැවත නැවත අපි කැමති දේවල් අවශ්‍ය වීම තුල සසර නිර්මාණය වෙනවා. මොකද අපිට යමක් අත් දැකලා ඒක එතනින් අත්හරින්න බැරි වීම නිසා. 

මේ ජීවිතේ කිසිම දෙයක් කිසිවකට හානියකින් තොරව භාවිතා කිරීමේ කිසිම වරදක් නෑ. නමුත් අපි මේ ජීවිතේ මොන දේ කළත් බොහොම සිහියෙන් ස්වභාවය දැනගෙන මේ දෙවල් කල යුතුයි. එතකොට ආයේ අරමුණු වලට හසු වීමක් නෑ.

තමන් සංසාර දුකෙන් ගැලවෙනවා කියන නිවැරදි දැඩි අධිෂ්ඨානයක් තියන කෙනෙක් , ආධ්‍යාත්මික මාර්ගයේ යද්දි යම් තැනකදි එයාට දැනෙනවා, තව දුරටත් මේ ලෝකෙ තියන මොන දේ කලත් , මොන ක්‍රියාවක නිර වුනත් තමන්ට එහි බලපෑමක් නැති බව. ඊට පස්සෙ ඒ කෙනාට ඕනෙම දෙයක් කරන්න පුලුවන්. මොකද තව දුරටත් කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවෙන නිසා.

හැබැයි අවසාන ඵලය දක්වා ගමන් කරන තුරුම වරින් වර නිදාගෙන සිටින ක්ලේෂයන් මතු වෙන්න පුලුවන්. වරින් වර තමන් ඉන්න ස්ථානය අවබෝධ කර ගන්න අවශ්‍යයි. මේක බොහොම පරිස්සමෙන් යායුතු ගමනක්. සියලු ප්‍රතිරෝධයන් අභිබවා එකම අධිෂ්ඨානයකින් යා යුතුයි.

කවුරුහරි කෙනෙක් එක මොහොතකට නිර්වාණය කියන ඒ පරම සැපත ස්පර්ශ කලොත්, මේ ලෝකෙ තියන අනික් සැප වල් මොනාද කියලා හිතෙන්න ගනීවි. ඒත් ඒක වචන වලින් කියන්න අපහසුයි.

හැම කාලෙකම මේ ලෝකෙ තියන සත්‍යය දකින සහ අනික් අයට කියා දෙන උතුමන් වහන්සේලා බිහි වෙනවා.  හැබැයි සංසාරෙන් එතෙර වෙන්නෙ බොහොම ටික දෙනෙක්. අනික් අය කවදහරි මේක  අවබෝධ වෙන කල්ම මේකෙ සැරි සරනවා.

The Great Master said to every one " He can only show us the way, It is all up to us to walk"

(The above content is based on discussions with the Great Master )

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.