Sunday, November 13, 2016

සියලු දේට මනසින් නොඇලී නොගැටී ජීවත් වෙන හැටි



අපි හැමෝගෙම  වර්ථමානයේ පවතින ජීවිතය බොහෝ දුරට සකස් වෙලා තියෙන්නෙ  අපි පෙර කරන ලද කුසල් හා අකුසල් කර්මයන් මත . නමුත් අපේම උත්සාහයෙන් සහ අවබෝධයෙන්,  පින්කම් හා කුශල කර්ම වල නිරත වීමෙන් අපි ජීවිත ගමන් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියනවා.

ආදරය, කරුණාව, මයිත්‍රීය අපිව දිව්‍ය ලෝකය දෙසටත්....තරහ, ඊර්ෂ්‍යාව, තණ්හාව අපිව අපාය දෙසටත් රැගෙන යනවා. අපි කොහෙද යන්නෙ කියන එක අපේම තීරණයක්.

බොහෝ සැප සම්පත් ඇතුව මේ ලෝකයට ඉපදෙන මිනිස්සු බොහොම පින් කරපු අය. ඉතින් ඒ වගේ තැනක ඉපදිලා ඒ ලැබෙන සැප සම්පත් නිසි විදියට භුක්ති විඳින්නෙ නැත්නම් ඒ ගොල්ලො මෝඩයි. මොකද තමන්ට ලැබෙන සැප සම්පත් භුක්ති විඳීමේ කිසිම වරදක් නැහැ. හැබැයි එකම දේ ඒ  සැප වලට මනසින් ඇලී ගැලී, නැවත නැවත මතක් කර කර, නැත්තම් ඒ සැප අවශ්‍යයි කියල තණ්හාවක් ලෝභ කමක් ඇති කර ගන්නවා නම් එතන ඇත්තටම කර්ම රැස් වීමක් සහ දුක ඇතිවීමක් සිද්ද වෙනවා.

හැබැයි කවුරුහරි කෙනෙක් මනසින් ඇලීමක් නැතුව බොහොම හොඳින් සැප විඳිමින්, තමන්ගේ ජීවිතය වින්දනය කරමින්, අනෙක් අයට සෙත සලසමින්, සතුටින් ජීවත් වෙනවනම් ඒක ඇත්තටම කොච්චර වාසනවන්ත ජීවිතයක්ද?
මනස පුරුදු පුහුණු කලේ නැති කෙනෙකුට මේක එකපාරම කරන්න අමාරුයි. මොකද මනස හැම වෙලේම හදන්නෙ සිතුවිලි ඔස්සේ කොහොමහරි අපිව මේ මොකක්ම හරි දේකට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරවන්නමයි. හැබැයි අපි හැමෝටම අවබෝධයෙන් මේ තැනට පත්වෙන්න පුලුවන් කමක් තියනවා.

තමන්ට දිව්‍ය ලෝක සැපතක් ලැබුනත් මනසින් නොඇලී ඒක විඳීමටත්, යම් මොහොතක දුකක් විඳින්න වුණොත් මනසින් ගැටීමක් නැතුව ඒකත් එක සමානව භාරගන්නත් පුලුවන්කමක් තියනවනම් අපේ ජීවිතය තුල ඇලීම් ගැටිම් නිසා ඇතිවන පීඩනය නැති වෙලා යනවා.

අපේ මනස තුල රාගය, ද්වෙශය, මෝහය වගේ සිතුවිලි ඇතිවෙන්න පුලුවන්. ඒ වගේ සිතිවිලි ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්න පවා පුලුවන්.  ඒ වගේ සිතුවිල්ලක් අපේ මනසට ආවම අපට පුලුවන්නම් එහෙම සිතිවිල්ලක් ඇති වුන බව දකින්න සහ ඒක තුලට කිඳා බැහැලා ඒකෙ ස්වභාවය දකින්න, ඒ අවබෝධයෙන්ම ඒවා නැතිවෙලා යනවා.

ඇත්තටම රාග ද්වේශ හා මෝහ ඇතිවෙන්නෙ මෙහෙමයි. 

රාගය කියන්නෙ කැමැත්ත. මේ කැමැත්ත විවිධාකාර වෙන්න පුලුවන්. 

රසම රස කෑමක් කාලා, ඒ ගැන හිත හිතා, ඒ කෑම ආයෙ ආයෙ ඕනෙ කියලා හිතන මනුස්සය තුල රාගයක් ඇති වෙලා. ඊට පස්සෙ මේ කෑම වෙනකෙනෙක් ගනීද, නැත්නම් ඒක තවකෙනෙක් කාලා, ඒ රසය වෙනස් වෙලා ආදී වශයෙන් ඒ මනුස්සය තුල ඇතිවෙන්නෙ තරහක්. මේ ඇති වුනේ ද්වේශය. ඊට පස්සෙ ඒත් එක්කම මේ කෑම නැවත ලබාගන්න හොරකම් කරන්න, බොරු කියන්න, එතකොට අනුවණ වැඩ කරන්න පෙළඹීම තමයි මෝඩකම හෙවත් මෝහය.

තව උදාහරණයක් කිව්වොත්,මනුස්සයෙකුට අයිති විශාල දේපලක් නැත්නම් වස්තු සම්භාරයක් තියනව කියල හිතන්න. දැන් මේකට මේ මනුස්සයා දැඩි ලෙස මනසින් ඇලිලා රාගයෙන් ජීවත් වෙනවා. තව කෙනෙක් වැරදිලාවත් මෙයින් කොටසක් ලබා ගනී, එහෙම නැත්නම් මේක නැතිවෙලා යයි වශයෙන් ද්වේශය ඇති වෙනවා. ඊට පස්සෙ මේ කෙනා තණ්හාවයි ද්වේශයයි පදනම් කරගෙන අනික් අය එක්ක  රණ්ඩු වෙනවා, අනුවණ කම් කරනවා. එතකොට ඒ ක්‍රියා කරන්නෙ මෝහයෙන්.

තවත් උදාහරණයක් කිව්වොත් යම් ගැහැනියක් හෝ පිරිමියෙක් තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ කෙනෙක් එක්ක රාගයෙන් මනසින් බැඳුනොත්, එයා ඊලඟට අනික් කෙනාගෙ වෙනස්කම් දරාගන්නෙ නෑ, සැක සංකා ඇතිවෙනවා, වෙනස්වීම , අනිත්‍ය බව දකින්නෙ නැතුව නිතරම ද්වේශයකින් පසු වෙනවා. ඊට පස්සෙ මේ ද්වේශය නිසා මෝඩකම් කරනවා.

මේකෙ අනික් පැත්ත වෙන්නත් පුල්වන්. 

ඒ කියන්නෙ මනුස්සයෙක් යම් දෙයකට හෝ කෙනෙක්ට ඇකමැතියි කියල හිතන්න. දැන් මේ මනුස්සයා මේ අකමැති දේ දකිද්දි නැත්නම්  කෙනා හමුවෙද්දි මෙයා තුල ඇති වෙන්නෙ තරහක්. එතකොට මේ මනුස්සය තුල ද්වේශය ඇති වුනා. දන් මේ අකමැති දෙය හෝ කෙනා නැති කරන්න/හානි කරන්න  විවිධ මෝඩකම් කරනවා. අන්න මෝහය ඇතිවුනා.

මෙන්න මේ විදියටයි රාග , ද්වේශ , මෝහ කියන සිතිවිලි ඔස්සේ මිනිස්සු තුල කර්ම රැස්වෙන්නෙ සහ භවය නිර්මාණය වෙන්නෙ.


මේ සිතුවිලි අපි තුල ඇතිවෙන හැටි සහ ඇත්ත ස්වභාවය දැක්කම අපිට හැකියාව ලැබෙනවා මේවායින් මිදිලා ජීවත් වෙන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි "නිර්වාණය උතුම්ම පරම සැපතයි" . ඉතින් මේ පරම සැපතට පත් වෙන්න අවස්තාව ලැබිලත් අපි තාවකාලික ඇලීම් ගැටීම් වලට අහුවෙලා මෝඩකම නිසා දුක් විඳිනවා.

අපි දේවල් වල මනසින් ඇලෙන්නේත් නැතුව, ගැටෙන්නේත් නැතුව , භාරගන්නෙත් නැතුව, ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව මැදුම් පිලිවෙත ඔස්සේ කාලයක් ජීවත් වීමෙන් අපිට සියලු දුක් නැති කරගන්න පුලුවන්.

අපිට ජීවිතේ ලැබෙන දේවල් පරහරණය කළාට, සැප වින්දට ප්‍රශ්නයක් නෑ මනසින් සිතිවිලි ඔස්සේ කර්ම රැස්කිරීමක් කරන්නෙ නැත්නම්.

මේ වගේ දේවල් මිනිස්සු ගොඩක් වැරදියට පටලවල තේරුම් ගන්නවා.මේකෙන් අදහස් කරන්නෙ නෑ ඔක්කොම අතෑරලා සැප විඳින්න කියලවත් නැත්නම් අනික අයට හානියක් වෙන දේවල් කිරීමෙන් සැපත සොයන්න ආදී වශයෙන්. මේකෙන් කියන්නෙ කොහොමද තමන් සමතුලිත මනුස්සයෙක් වෙලා අනික් අයටත් හානියක් කරදරයක් නොවන පරිදි මනසින් නොඇලී සියලු සැප සම්පත් වින්දනය කරමින් මධ්‍යයේ, සතුටින්, සාමකාමීව, අනික් අයටත් යහපතම උදා කරමින්  ජීවත් වෙන විදිය.

ධර්මය උනත් අපි අල්ල ගන්න ඕනෙ අපිට තේරෙන සරල තැනකින්. වැරදි තැනකින් අල්ල ගත්තොත් , වරදවා තේරුම් ගත්තොත් ඒකෙන් අපිව විනාශයට පත් වෙන්න පුලුවන්. හරියට සර්පයෙක්ව වරදි තැනින් ඇල්ලුවොත් ඌ අපිව කන්න පුලුවන් වගේ.




No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.