Friday, November 18, 2016

ද්විත්වත්වය දැකීම සහ අවබෝධය



මේ ලෝකෙ පවතින හැම දේකම දෙපැත්තක් තියනවා. ඒ කියන්නෙ ද්විත්වත්වයක් තියනවා. මිනිස්සු හැම වෙලේම මේ ද්විත්වත්වය මත ජීවත් වෙනවා. සරලව කිව්වොත් හොඳ- නරක, පව් -පින්, කලු-සුදු, ගෑණු- පිරිමි, එලිය-අඳුර විදියට හැම දෙයක්ම පවතින්නෙ ඒකෙම ප්‍රතිවිරුද්ධ දේත් එක්කමයි. කවදාවත් එළියට බෑ අඳුර නැතුව පවතින්න. හොඳ කියල අපි දේවල් දකින්නෙ සහ වර්ග කරන්නෙ නරක කියල දෙයක් තියන නිසා. ඒ විතරක් නෙවේ හැම දෙයක්ම එක එක මනුස්සය දකින්නෙ එයාට සාපෙක්ෂව.උදාහරණයක් කිව්වොත් කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්, ඒ වගේම කෙනෙක් පින් කියලා දකින එකම දේ තවත් කෙනෙක් පව් විදියට දකින්න පුලුවන්. මේ හැමදේම පුද්ගල සාපේක්ෂ දේවල්. එතකොට තේරෙනවා මේ සාපේක්ෂ කිසිදේක සත්‍යය ස්වභාවයක් නැහැ කියන එක. නිරපේක්ෂ දේ තමයි සත්‍යම සත්‍යය.

පැවැත්මක් තියෙන්නෙ ඒකෙම අනික් පැත්ත නොපැවැත්මක් තියන නිසා. කවුරුහරි කිව්වොත් පැවැත්ම විතරයි තියෙන්නෙ කියලා එයා දැකල තියෙන්නෙ එක පැත්තයි. තව කෙනෙක් කිව්වොත් නෑ මෙතන පවතින කිසිම දෙයක් නෑ කියලා එයත් ඉන්නෙ මුලාවක. මේ පැවැත්ම නොපැවැත්ම දෙකම දකින සහ අවබෝධ කරන කෙනාට තමයි හරි දැක්මක් තියෙන්නෙ.

ඇත්තටම මේ ද්විත්වත්වය මත පවතින අපි එක පැත්තක් විතරක් දකින තාක් සහ එක පැත්තක් ගන්න තුරුම අපි ඉන්නෙ මුලාවක. වෙන විදියකින් කියනවා නම් යම් කිසි දෙයක  එක පැත්තක් දකින කෙනෙක්ට යථාර්තය හෙවත් නියම ස්වභාවය දකින්න අමාරුයි. උදාහරණයක් කිව්වොත් ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන්න එයා බොහොම යහපත් පැවැත්මක් ඇති කෙනෙක්,එයාට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න , සෙත් පතන්න වගේ දේවල්, ඒ කෙනා ඒවම කරනවා කියලත් හිතන්න. හැබැයි ආශිර්වාද කරන කෙනාට සාප කිරීමේ හැකියාවකුත් තියනවා කියලා අපි තේරුම් ගන්න/දකින්න ඕනෙ, එයා ඒක පාවිච්චි කරන්නෙ නැති වෙන්න පුලුවන්.  නමුත් දෙපැත්තම දකින්න අපිට නුවණ තියෙන්න ඕනෙ. කෙනෙක් සුවපත් කරන කෙනාටම පුලුවන් ලෙඩ කරන්නත්. ඒක තමයි මේ ස්වභාව ධර්මය නිර්මාණය වෙච්ච හැටි. යතාර්ථය ඒකයි.

අරයා හොඳයි , මෙයා නරකයි ආදී වශයෙන් අපි කරන බෙදීම් සියල්ල සත්‍යය නෙවෙයි/සාපේක්ෂයි.

අපි හැම වෙලේම කෙනෙක් ගත්තත් දෙයක් ගත්තත් ඒකෙ එක පැත්තක් දැකල වර්ගීකරණය කරන් නැතුව දෙපැත්තම දකින්න පුරුදු වෙන්න ඕනෙ. අන්න එතකොටයි /එහෙම දැක්කමයි අපි ඉන්නෙ මොනතරම් මුලාවකද කියලා අපිටම පේන්න පටන් ගන්නෙ.

 සියලු දෙයෙහි දෙපැත්තම දැකලා එක පැත්තක් වත් ගන්නෙ නැතුව මේ දෙපැත්තෙන්ම අයින් වෙලා ඉන්න පුලුවන් කෙනෙක් මොනතරම් ආශ්වාදයකින් ජීවත් වෙනවා ඇත්ද? මොකද එයාට සම්පූර්ණ විදියට දේවල් දකින්න පුලුවන්. පූර්ණ දකීමක් ඇතිවෙලා.

නිවැරදි සත්‍යාවබෝධයට පත්වූ කෙනෙක්ට ද්විත්වත්වයක් නැහැ. පින් පව්, හොඳ නරක ආදී වශයෙන් වර්ග කිරීමක් එතන්දි නෑ. ඒවයෙ කිසි ප්‍රශ්නයකුත් නැහැ. මේ සියලු ද්විත්ව වර්ග කිරීම් බෙදීම්, සාපෙක්ෂතාවයන් සියල්ල පවතින්නේ අපි අවබෝධත්වයට පත් වන තුරු පමණයි.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.