Sunday, January 1, 2017

හැම දෙයක් දිහාම සියලු ආකාර/පැතිකඩ වලින් බලන්න


අපි සියලු දෙනාම ජීවත් වෙන කාලය තුල විවිධාකාරයේ ජීවිත අත්දැකීම් ලබන්නෙමු. ඒ ලබන ජීවිත අත්දැකීම් අපේ පැවැත්මත් එක්ක තියෙන්නෙ බොහොම කිට්ටු සම්බන්ධතාවයක්. අත්දැකීම් මිනිස්සුන්ව වෙනස් කරනවා. 

අපි හොඳට බැලුවොත් පේනවා, මේ සමාජයේ ජීවත් වෙන කොටසක් ඉන්නවා ජීවිතේ විඳපු අමිහිරි අත්දැකීම් නිසාම තැලිලා පොඩිවෙලා එයාලාට ජීවිතේ ගැන තියෙන්නෙ කලකිරීමක්. කිසිම දෙයක් ගැන එයාලට හැඟීමක් නැහැ. ඒ වගේ අය අර ජීවිත අත්දැකීම් එක්කම ඇති වූ අප්‍රමාණ විඳවීම එක්ක බැඳීම් සහ බලාපොරොත්තු අත්හැරලා. ජීවත් වන්නන් වාලෙ ජීවත් වෙනවා මැරෙනකල්. සුන්දර දෙයක් පෙන්නුවත් ඒකෙ කිසි සුන්දර බවක් දකින්නෙ නෑ. කටුක බව විතරයි දකින්නෙ. ආදරය සහ කරුණාව ගනන් ගන්නෙ නෑ. මනුෂ්‍යත්වය දකින්නෙ නෑ.

අන්න එහෙම අය කිසිම දෙයක් ගැන නිවැරදි අවබෝධයක් ලැබිලා නෙවෙයි එහෙම ජීවත් වෙන්නෙ. ජීවිතේ කටුක අත්දැකීම් එයාලගෙ සිත් ගල් කරලා. 

නමුත් සත්‍යය ධර්මය අවබෝධ කරපු කෙනෙක් හැඟීම් දැනීම් නැති කළු ගල් වගේ අය නෙවෙයි. බොහොම කරුණවන්තයි.මයිත්‍රී සහගතයි.ආදරණීයයි වගේම මානුෂිකයි.

තුන් ලෝකෙම අවබෝධ කොට දේශනා කළ බුදු රජාණන් වහන්සේ මොනතරම් කරුණාවන්තද. උන් වහන්සේ තුල අප්‍රමාණ මයිත්‍රීයක් තිබුණා. ජේසු තුමන් මිනිස්සු දිහා බැලුවෙ කොයිතරම් ආදරයකින් හා කරුණාවකින්ද? සත්‍යය අවබෝධ කළ උතුමන් අපරිමිත මයිත්‍රී සහගත අය.

එතකොට මේ හැඟීම් දැනීම් නැති කරගැනීම නෙවෙයි අවබෝධය. මොකද හැඟීම් දැනීම් නැතුව ගල් වගෙ ජීවත් වීම තුල යතාර්ථයේ පවතින නියම ස්වභාවය හෝ ධර්මය ගැන අවබෝධයක් ඇති වෙන්නෙ නෑ.

වෙන්න ඕනෙ මෙච්චරයි. දේවල් වල ඇත්ත ඇති සැටියෙන්, අවබෝධයෙන් දැකලා කිසිම දේකට ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ජීවත් වෙන එකයි සත්‍යය වශයෙන්ම අවබෝධ වීම කියන්නෙ.

මේ ජීවත් වෙන කාලෙ ඕනෙ දෙයක් කාටවත් හානියක් නොවන ආකාරයට පරිහරණය කිරීමේ ගැටළුවක් නෑ. හැඟීම් වලට හෝ දැනීම් වලට බයේ මේකෙන් පැනලා දුවලා වැඩක් ඇත්තෙත් නෑ. මේ සමාජයෙන් , ප්‍රශ්න වලින් පැනලා ගිහින් විමුක්තියක් හෝ සැබෑ නිදහසක් ලබන්න බෑ.

උදාහරණයක් කිව්වොත්  මේ ජීවිතේ දුකයි කියලා ,ප්‍රශ්න වලින් පැනලා යන්න හිතාගෙන කෙනෙක් වනගත වුනා කියලා හිතන්න. මේ වනයේ තනියෙන් ජීවත් වෙන කාලෙ ඒ මනුස්සයගෙ තුල තියන කෙලෙස් ඒ කියන්නෙ ආශාවන්, තණ්හාවන්, ක්‍රොධයන් තාවකාලිකව යටපත් වෙන්න පුලුවන්. ඒ වුනාට බැරි වෙලාවත් වනන්තරෙන් ඇවිල්ලා මේ සමාජයේ ටික කලක් ජීවත් වෙන්න උනොත් තුඹසක නිදාගෙන හිටපු නයෙක් වගේ එයාගෙ කෙලෙස් මතු වෙනවා. 

ඒ නිසා කෙනෙකුට කෙලෙස් නැසීමට හෙවත් අවබෝධය ලැබීමට තියන ක්‍රමය තමයි යථාර්තය දැකීමට තරම් නුවණක් තමන්ගේ ඇතුලාන්තය තුල ඇති කර ගැනීමට ක්‍රියා මාර්ගයන් ගැනීම.

එහෙම නැතුව කිසිම ප්‍රාණයක් නැති කලු ගලක් වගේ ජීවත් වීම වත්, මේ හැමදේම අතෑරලා යාමවත් නෙවෙයි  අවබෝධයට මග.

අත් හැරීමෙන් සැනසීම ලැබෙනවා කියන්නෙ, භෞතික අත් හැරීමක් හෝ තියන දේවල් වලින් පැනලා යාමක් නෙවෙයි. මනසින් දේවල් කෙරෙහි ඇති වන ඇලීම් ගැටීම් වලින් මිදීමයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල මධ්‍යම ප්‍රතිපදාව තුලම සියලු දේට උත්තරය හමු වෙනවා.  මාර්ගය නම් මද්‍යයේ ගමන් කිරීම මයි.

මේ ලෝකෙ රජවරු, සිටුවරු, ධනවතුන් ඉන්නවා. බුදු හාමුදුරුවන් ජීවමානව හිටපු කාලෙත් මේ වගේ අය හිටියා. ඒ වගේ අයට තමන් ගේ කුශල ශක්තියට අනුරූපව සැප සම්පත්, පරිවාර සම්පත් ලැබිලා තියනවා. මේ ලැබීම් තුල කිසි වරදක් නෑ. ඒවා නොලැබුණ අය ඒ දේවල් දිහා ඊර්ෂ්‍යාවෙන් බලලා වැඩක් නෑ. එක එක්කෙනාට ලැබෙන්නෙ තමන්ගෙ පැකේජ් එක. හැබැයි ලැබෙන දේවල් කෙරෙහි උනත් තණ්හාව , ආශාව උපදවාගෙන ඒවයෙ ඇලුනොත් අන්න එතෙන්දි ඒ කෙනා අපාය පැත්තට වැටෙන්න පුලුවන්.  නොලැබීම තුල කෙනෙක් ඊර්ෂ්‍යාව , ක්‍රෝධය ඇති කරගත්තොත් එයා ඒත් වැටෙන්නෙ අපාය පැත්තට.

මෙන්න මේ නිසා මොනවා ලැබුණත්, නොලැබුණත් , උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනෙ.

නැවතත් එකම උත්තරයමයි ලැබෙන්නෙ. නිවීම සහ සැනසීම මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වෙන කෙනෙක්ට ස්ථිර වශයෙන්ම ලැබෙනවා.

අපි දකින , අහන, විඳින, දැනෙන හැම දෙයක් දිහාම සියලු පැතිකඩ වලින් බලන්න අවශ්‍යයි. එහෙම බැලුවම තමයි ඕනෙම දේක ඇත්ත හෙවත් සත්‍යය පේන්නෙ.  කිසිම දෙයක් කවුරුවත් කියපු නිසා වත්, දැක්ක නිසා පිලිගන්න එපා. තමන්ම පර්යේෂණය කරන්න. මේවා සත්‍යයද? සියලුම පැති වලින් බැලුවමත් එහෙමද ? අන්න ඒ විදියට නුවණ මෙහෙයවීම තුල තමන්ටම තමන් තුලින්ම දෙවල් අවබෝධ වෙනවා.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.