Friday, March 24, 2017

සිත දමනය කිරීමෙන් මාර බැම්මෙන් මිදිය හැක



අපේ සිත නිවී නොපවතින හැම අවස්ථාවකම මේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. ඒ කියන්නෙ  ඇත්තටම මාර ස්වභාවය තමයි බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද අපි මේ ස්වභාවයට හසු නොවී ජීවත් වෙන්නෙ. තමන්ගෙ මනස මාර ස්වභාවය ට අසු වුනොත් ගලවා ගැනීම ටිකක් අමාරුයි.

මේක ක්‍රියාත්මක වෙන්නෙ හරියට මෙන්න මේ වගේ. අපි යම් දෙයක් හෝ කෙනෙක් සමග දැඩි ආශාවකින් බැඳුනොත් අන්න ඒ මොහොතේ අපි මාරයාගේ ග්‍රහණයට අහු වෙනවා. මොකද ඒක මාර බන්ධනයක්. ඒ මොහොතේ අපේ සිතේ නිවුණ ස්වභාවය නැති වෙනවා. සැහැල්ලු බව නැති වෙලා බර වැඩි වෙනවා. අකුසල් සිත් පහල වෙනවා. අපි වීර්යයෙන් මෙයින් මිදිය යුතුයි. මාරයා අපි ඉදිරියට එන්නෙ සසර කර උඩ තියාගෙන කියලයි මට හිතෙන්නෙ. මාරයාට අහුවෙන හැම මොහොතකම අපි සසරට අහු වෙනවා.

ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නෙ බාහිර ලෝකයේ කෙනෙක්, දෙයක් හෝ අදහසක වත් නෙවේ. ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසෙ. මට බැහැ කවදාවත් කාවවත් හෝ දෙයක් පෙන්නලා ඔය එන්නෙ මාරයා කියලා නමක් දෙන්න.  අපේ ඇස , කන, නාසය, දිව , ශරීරය ඔස්සේ අපිට ඇතිවෙන අරමුණු වලින් අපි සසරට අහුවෙන්න පුලුවන්. අන්න එහෙම අරමුණක් මනස අල්ලා ගන්නා මොහොතෙදි අපි මාර ස්වභාවයට අහු වෙනවා.


බුදුන් වහන්සේ කිව්වෙ  දුර ගමන් යන -තනිව හැසිරෙන- සිරුරක් නැති -ශරීර කූඩුවෙහි වාසය කරන -සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි.  එතකොට මාර බන්ධනය බලපාන්නෙ අපේ සිතට. අපි නිරන්තරයෙන් සිහියෙන් ක්‍රියා කළ යුතුයි. සම්මා සතියෙන් හෙවත් යහපත් සිහියෙන් ජීවත් වෙන හැම මොහොතකම අපි ජීවත් වෙන්නෙ දමනය වූ සිත් ඇතිව.

 අපි එකිනෙකා ඇලීමට හෝ ගැටීමකට හසු වෙන ආකාරය එකිනෙකාට වෙනස්. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්තයේ ඉන්න සිත බොහොම නිවිලා. කිසි දෙයක් භාර ගන්නේවත් ප්‍රතික්ශේප කරන්නේවත් නැති සිත පිවිතුරුයි.

අපේ ඇස් ඉස්සරහට  අපි මොනතරම් කැම්ති රූපයක් ආවත් අපි ඒකට ඇලිලා, බැඳෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් , එතෙන්දි අපි ඒ රූපෙ දැක්කා, ලස්සනයි, හොඳයි කියලා දැක්කා ඒක එච්චරයි නම් සිතුවිලි ඔස්සේ ඉස්සරහට ගෙනියන්නෙ නැත්නම් එතන්දි සිද්ද වෙන්නෙ "දැක්කොත් දැක්කා පමණයි" කියන දෙය. අන්න එහෙම කෙනෙක් ගෙ සිත රූපයකට ඇලිලා ඇති වෙන්න පුලුවන් මාර බන්ධනයෙන් මිදිලා. එලියෙ චලනයක් උනාට ඇතුලත චලනයක් වෙන්නෙ නෑ.

මේකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන්. අපි දකින්න අකැමතිම රූපයක් අපි ඉස්සරහට එනවා කියලා හිතන්න. ඒ ආවම අපිට කේන්ති යනවා නම්, තරහෙන් පුපුරනවා නම් එතකොට ද්වෙශය ඇති වෙලා සිතුවිලි එක්ක දුර ගමනක් යනවා නම් අන්න එතකොට අපි අහු වෙන්නෙත් මාර ස්වභාවයට. මොකද එතෙන්දි අපේ හිතේ ඇති වෙන්නෙ ගැටීමක්.

අපේ කනට පුදුමාකාර මදුර ස්වරයක් ඇහිලා අපි ඒකට ඇලුනොත් නැත්නම් අමිහිරි ශබ්දයක් නිසා තරහ ගිහින් ඒකෙ ගැටුනොත් සහ ඒක මනසින් අල්ලා ගත්තොත් ඒ තැන් දෙකේදිම අපි අහුවෙන්නෙ මාර ස්වභාවයට. අපි පත් වෙන්න ඕනෙ තැන තමයි "ඇහුවොත් ඇහුවා පමණයි" කියන තැනට.

අපිට අපි කැමතිම පහසක් ශරීරයට දැනෙනවා කියලා හිතන්න. අපි මේකට දැඩිව ඇලිලා මනසින් අල්ලගෙන මේ ඔස්සේ දිග සිතුවිලි ට්‍රිප් එකක ගියොත් නැත්නම් මේක නැවත නැවත වින්දනය කිරීමේ සිතුවිල්ලක් ඇති කර ගත්තොත්  අන්න එතෙන්දි අපේ සිතේ සිහිය, නිවීම නැති වෙනවා. එතනදී අපේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. අපි පත් වෙන්න ඕනෙ "වින්දොත් වින්දා පමණයි" කියන තැනට.

පළවෙනිම දේ තමයි තමන්ගේ සිත දමනය කර ගැනිම. සිත දමනය වෙච්ච නැති කෙනෙක් තුල ඇති වෙන්නෙ අවුල් ස්වභාවයක්. සමහර අවස්ථාවල අපේ හිත අපිව පිස්සු වට්ටනවා. ඒ විතරක් නෙවෙයි අපිව පාලනය කරනවා. අපේ සිත අපිව සිතුවිලි ඔස්සේ එයාට ඕනෙ ඕනෙ තැන්වල අරන් යනවා. එතකොට අපිට සිහිය පිහිටන්නෙ නෑ.

නිතර භාවනා නොකළත් අඩුම තරමෙ අපි පුරුදු වෙන්න ඕනෙ මේ මොහොතේ ජීවත් වෙන්න. මගේ ආධ්‍යාත්මික ගුරුතුමා මට කිව්වෙ සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරක්ම බවයි. අනෙක් සියලු මොහොතවල් හෙවත් අනගතයේ එන්ඩ තියන මොහොතවල් නැත්නම් අතීතයේ පහු ගිය මොහොතවල් ඔක්කොම බොරු. මොකද ඒ කිසිම මොහොතක් එක්කො ඇවිත් නෑ, නැත්නම් ගිහිල්ලා ඉවරයි.  සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරයි.

මේ මොහොතෙ ජීවත් වෙද්දි අපේ පන්චේන්ද්‍රිය අරමුණු වලට හසු වෙන ස්වභාවය  සහ වේගය අඩු වෙනවා.  සිතුවිලි පරම්පරා හද හදා සසර නිර්මාණය වීම පවා නවතිනවා.  එක එක්කෙනාගෙ මති මතාන්තර නැත්නම් අපේ මතකයන් අපේ සිත් මුළාකරන්නෙ නෑ මේ මොහොතේ විතරක්ම පවතිද්දි. සම්මා සතිය තුල පිහිටන්න පුලුවන්.

මේ මුලු ලෝකයම මහා මායාවක්. ඇත්තටම බොරුවක්. සිහිනයක්. ඉතින් ඒකෙන්ම අපි අවබෝධ කරන්න ඕනෙ මේක මාර ලෝකයක් බව. බුද්ධ ස්වභාවය /බුදු ගුණය ට වඩා මේ ලෝකෙ නැඹුරු වෙලා තියෙන්නෙ අපේ සිත් මාර බන්ධන (ඇලීම්, ගැටීම්) වලට හසු කිරීමට.


මනුෂ්‍යයා කියන කෙනා ස්වභාවයෙන්ම අප්‍රමාණ මයිත්‍රීයක් තියන කෙනෙක්. ඒ මයිත්‍රීය බොහෝ දුරට අපිට අවබෝධය ලබන්න උපකාර වෙනවා. 

අපේ සිත කිසිම මාර බන්ධනයකට හසු වෙන්න ඉඩ නොදී , නිවීම තුලම ජීවත් වීමට අපි සියල්ලෝම වීර්යය කළ යුතුයි.


Friday, March 17, 2017

Love without attachment is absolute light




Love without attachment is absolute light. Its the best kind of love one can experience.

The main root cause for suffering in this world is attachment. In other words the origin for suffering is attachment. We people get attached to many things  such as physical objects, people, our own ideas etc and with this attachment suffering happens.

In this world where we live.... we can see, smell, feel, hear, taste many things that we feel like getting attached to. But the reality is everything is changing every time. In a constantly changing , impermanent world what is there to be attached to. That is what we need to realize. 

Think of our own selves. Are we the same people lived some years back? Are the interests same to the interests we had as a child. Look at our own face, skin and hair. Are they same or changed. We are changed physically as well as all our thoughts, desires etc everything is changed.

However the much you are attached to anything, it is no point - does not do any good. Because some day you are definitely going to loose/leave it. See the fact everyone who born to this world ultimately die.

What are the consequences of getting attached to anything? Once attached we feel like experiencing it over and over again, we cannot bear the change, we try to own it , the clarity of mind disappears , might feel burdened etc. Once these kind of things happen we loose the peace of mind and the suffering begins.

The true dharma Buddha and other Spiritual teachers preached was really practical. It is all about the reality.  The true dharma can be applied practically in to our day to day life and it is possible to live in real world /in reality by realizing all these things. 

Love is possible without attachment. But we cannot think and do it. Once see the true nature of reality and with realization it happens within us.Then we become like a Lotus flowers. Very beautiful, unattached, liberated and full of love and compassion.

True love is not attachment. In the practical reality a human can live loving any one/ any thing or everyone without being attached to. This love is the purest love on earth. 

If it applies for a relationship with someone - the love is total surrender, total acceptance of the other person, unconditional, no expectations in return, only giving , loving in all the ways possible but not attached. A person who experiences this kind of a supreme love- he or she become god like. Godly love.

There is a way that you can love anyone or anything without attachment. That is very beautiful and best kind of a feeling. It is a beyond feeling- it is the compassion.

How can we love without attachment? Very first thing is to look at the reality with an open mind without acceptance or rejection. See the constantly changing nature of this world. How impermanent everything is. What a short period of time we live here. When you see these things with wisdom, you can see the light.

We all need to see the real nature. We are all born again and again until liberated. Time to time we born as animals, humans, gods in hell, heaven, earth etc. This life is actually a temporary stop as a human in this world. This is not the very first time we met our mother and father, brother , sister , girlfriend, boyfriend , wife husband etc. We have met them thousands & thousands of times in different lives in various forms. This life our brother and sister could be previous life mother and father. We do not know. We meet them over and over again until karmic debts are settled or may be until we liberate.

After someone seeing all this, if she or he realizes the true nature of every attachment. Then he or she is able to love totally without any kind of attachment. 

A person who loves without attachment does not mean he or she does not enjoy the life and the world. They enjoy everything more freely and contented.

Thursday, March 16, 2017

සියලුම දෙනා දැනගෙන හෝ නොදැනගෙන හොයන එකම දේ නිදහසයි, නිවීමයි


මනුෂ්‍යයින් වශයෙන් අපි, අපේ පැවැත්මේ සම්පූර්න වගකීම අපිම භාර ගත යුතුයි. ජීවත් වන කාල සීමාව තුල අපි කරන කියන දේ, හිතන පතන දේ, තීන්දු තීරණ මේ සියල්ලේ සම්පූර්ණ අයිතිකරුවා හෙවත් වග කිව යුත්තා තමන්මයි. බොහෝ විට මිනිසුන් අපිට මෙහෙම උනේ අරයා හින්දා , මෙයා හින්දා, මේගොල්ලො හින්දා කියමින් නිදහසට කරුණු කිය කියා තමන්ගේ පැවැත්මේ වගකීම අනුන්ට පවරයි. එය මුලාවකි.

අපේ ජීවිත වල අපිට අවශ්‍ය දේ මොකක්ද යන්න නිරවුල්ව තෝරා බේරා ගෙන ඒ අනුව ජීවත් වීමටත්, සත්‍යවාදී වීමටත් තරම් ආත්ම විශ්වාසයක් අපි තුල ගොඩ නගා ගත යුතුයි. අපි යන ගමන භෞතික වේවා , ආධ්‍යාත්මික වේවා ඒ මොකක් උනත් කරන දේ හරියට කළ යුතුයි. 

මනුශ්‍යයෙක් වශයෙන් ඉපදිච්ච සියලුම දෙනා දැනගෙන හෝ නොදැනගෙන හොයන එකම දේ නිදහසයි, නිවීමයි. සියලු දෙනා විවිධාකාර ක්‍රම වලින් හොයන්නෙ නිදහස සහ නිවීමයි. මේ භෞතික ලෝකෙ ඇත්තක් කියලා හිතන මිනිස්සු පවා සියලු දේ කරලා ඒ තුලින් හොයන්නෙ නිදහස. සමහර අය මානසික නිදහස හොයනවා. අපි හැමෝම මොන ක්‍රමයකින් හරි හොයන්නෙ නිදහසක් /නිවීමක්.

අපි විනෝද චාරිකා යනවා, එතකොට පෝයට පන්සල් යනවා මේ හැමදේම කරන්නෙ තාවකාලිකව නිවීම හොයන්න.එතකොට අපි තේරුම් ගන්න ඕනෙ අපි මේ එක එක ක්‍රම වලින් හොයන්නෙ නිදහසක් හෙවත් නිවෙන්න ක්‍රමයක්.

අපේ නිදහස/නිවීම අපි විසින්ම ආවරණය කරගෙනයි මේ ජීවත් වෙන්නෙ. මොකද නිවීම සූක්ෂම විදියට අපේ ඇතුලෙම හංගලා.  අපි කරන කියන දේවල්, අපේ සිතුවිලි, අපේ ආශාවන්, තණ්හාවන්,ද්වේශය, මෝඩකම් විසින් අපි තුල තියන නිවීම සූක්ෂම විදියට ආවරණය කරලා. 

අපේ මනස නිරතුරුවම අපිව මුළා කරනවා. මනස නිසා භෞතික ශරීරය පවා ලෙඩ වෙන්න පුලුවන්. මනස වෙහෙසට පත් වුන ඕනෙම වෙලාවක අපිට ශාරීරික වෙහෙසකට වඩා දැඩි අපහසුතාවක් දැනෙනවා. ඇත්තටම මනස සුවපත් නම් අපිට දැනෙන්නෙ විශාල සැනසීමක්. තමන්ගේ මනස ගැන තමන් තරම් දන්න තව කෙනෙක් නැති තරම්. 

ඒ වුනාට අපේ අනුබලයක් නැතුව තනියෙන් ක්‍රියාත්මක වෙන්න මනසට බෑ. අපි එක්කො ඇස, කන, නාසය, දිව, ශරීරය තුලින් යම් තොරතුරක් එයට ලබා දිය යුතුයි. නැත්තම් පෙර මතකයක්, යම් දැනුමක් විසින් මනස මෙහෙයවිය යුතුයි. 

අපේ මනසට නිරතුරුවම විවිධාකාර සිතුවිලි ගලාගෙන එනවා. ඒක මනසේ ස්වභාවය. සැනසිලිදායක සිතුවිලි එනවනම් ගැටලුවක් නෑ. හැබැයි ලෝබය, ද්වේශය, මෝහය වගේ සිතුවිලිත් මේ අතර ඇති වෙන්න පුලුවන්. අපිට සිතුවිලි ඇති වෙන එක වලක්වන්න බෑ. හැබැයි ඒ දෙස බලා සිටීමෙන්ම එයින් නිදහස් වෙන්න පුලුවන්. තමන්ට ලෝබ සිතුවිල්ලක් ආවොත් ඒක දිහා බලා හිටියම එයින් ම ඒක දුරු වෙලා යනවා.

දැක්කොත් දැක්කා පමණයි, ඇහුවොත් ඇහුවා පමණයි, වින්දොත් වින්දා පමණයි - කියන තැනට ඇවිත්, පවතින කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනා සම්පුර්ණ නිවුන ස්වභාවයක පවතිනවා.


Wednesday, March 1, 2017

අපි භෞතික ලෝකයක ජීවත් වෙන මිනිස්සු



මේ අපි භෞතික ලෝකයක ජීවත් වෙන භෞතික ශරීර තියන මිනිස්සු.එතකොට අපේ අත්දැකීම් බොහෝමයක් ඇත්තටම භෞතිකයි. උදාහරණ වශයෙන් පැහැදිලි කරොත් මිනිස්සු වෙන අපිට බඩගිනි දැනෙනවා. ඒ වෙලාවට අපි කෑම කෑවම මේ බඩගින්න නිවෙනවා. ඊලඟට තිබහ ආවම, වතුර බිව්වම ඒක නිවෙනවා. අපිට නිදිමත දැනෙනවා. නිදා ගත්තම සනීපයි.වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති උනොත් ඒක පිට කරාම නැවත සනීපයක් තමයි ඇති වෙන්නෙ.  ඔය විදියට අපිට මේ මනුශ්‍ය ශරීරයක් ලැබුන හින්දා භෞතික දැනීම් අනුව අවශ්‍යතා ඇති වෙලා තියනවා. 

හැබැයි ඔන්න බඩගිනි වෙලා ඕනෙවට වඩා කෑවොත් මොකද වෙන්නෙ.අපහසුයි.  ඒ වගේම අඩුවෙන් කෑවොත් මොකද වෙන්නෙ. වැඩිපුර කෑවත් , අඩුවෙන් කෑවත් ඇති වෙන්නෙ අපහසුවක්.හැබැයි ප්‍රමාණයට කෑවොත් දැනෙන්නෙ පහසුවක්. නිදිමතයි කියලා ඕනෙවට වඩා නිදා ගත්තත් අමාරුයි. අඩුවෙන් නිදා ගත්තත් එහෙමයි.ඉතින් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි අපේ ශරීරයට වඩාත් පහසුවක් දැනෙන විදියට ජීවත් වෙන්න.

මේව ඇත්තටම භෞතික ශරීරයක් ලැබිච්ච හින්දා දැනෙන දැනීම්. එතකොට නිකමට හිතන්න කවුරුහරි මනුශ්‍යයෙක් එයාට මේ ඇති වෙන භෞතික දැනීම් අනුව ජීවත් වෙනවා කියලා.. එතකොට ඒ කෙනාගෙ ජීවිතේ ගොඩාක් පහසු වෙනවා. මොකද බඩගිනි දැනුනම කනවනම්, නිදිමත ආවම නිදා ගන්නවනම් එයා එයාගෙ මේ භෞතික ශරීරය ට දැනෙන දැනීම් අනුව ජීවත් වෙනවා.ජීවිතේ බොහොම සරලයි.

කොහොමද මේ පැවැත්ම සංකීර්ණ උනේ. දැන් කොතනද ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ.පොඩි කාලෙ ඉඳන් ළමයින්ට උගන්නවා දවසට කන්න පුලුවන් වේල් තුනයි. ඒක කන්නෙත් වෙලාවට.එතකොට කන වෙලාවල් කාල සටහන් දෙනවා. ඊලඟට නිදා ගන්න වෙලාවක් දෙනවා.මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකල් විතරයි නිදා ගන්න පුලුවන් කියලා නීති දානවා. ඔය විදියට කාලයට අහු කරනවා. එතකොට මේ පුන්චි ළමයි කන්නෙ තමන්ගෙ ශරීරයට බඩගිනි දැනිලා නෙවෙයි අර දීපු කාල සටහනට. එතකොට නිදා ගන්නෙ නිදිමතට නෙවෙයි.කාල සටහනට. මෙහෙම උනාම මේ ළමයින් තුල ඇති වෙන්නෙ  මහා අසමතුලිත භාවයක්.  තමන්ගෙ ශරීරයට දැනෙන දේ අනුව නෙවෙයි ඒගොල්ලන්ගෙ අවශ්‍යතා සිද්ධ වෙන්නෙ. එතකොට බිහිවෙන්නෙ හිරවෙච්ච, බොහොම අසමතුලිත මිනිස්සු.

කොහොමද මිනිස්සු මේ තත්වයට ඇත්තටම පත් උනේ? මනස නිසාමයි. මොකද මනසින් කොටු, රාමු හැදුවා. හදලා ඒවා ඇතුලෙ මිනිස්සු හිර උනා. ඊට පස්සෙ මිනිස්සු මුල් තැන දුන්නෙ තමන්ගෙ ශාරීරික අවශ්‍යතා වලට නෙවෙයි මානසික අවශ්‍යතාවලට.  මනසේ අවශ්‍යතා හරිම සංකීර්ණයි. ඉශ්ඨ කරලා ඉවරයක් කරන්න බෑ. ඒකනෙ ගොඩක් මිනිස්සු අසංතෘප්ත තත්වයෙන් ජීවත් වෙන්නෙ.

ශාරිරික අවශ්‍යතා සරලයි. මානසික අවශ්‍යතා වගේ නෙවෙයි. ඒකයි මේ ශරීරයට දැනෙන දැනීම් අනුව ජීවත් වෙච්ච පුරාණ කාල වල මිනිස්සු බොහොම සංතෘප්තියෙන් හා සතුටෙන් ජීවත් වුනේ.

නිවීම කියන එක භෞතිකයි. අපි ජීවත් වෙන්නෙ මේ නිවීම තුළමයි. අපිට වෙලා තියෙන්නෙ අපි මානසික ලෝකයක් හා මම කියලා කෙනෙක් හදාගෙන කිසිම තේරුමක් නැතිව දුක් විඳිනවා. අපිට මේ භෞතික ලෝකෙක භෞතිකව ඉන්න අපේ ස්වභාවය පේන්නෙ නෑ. අපිට පේන්නෙ මානසිකව හදා ගත්තු මම. ඒකයි දුක ඇති වෙන්නෙ.

අපිට කවුරුහරි බැන්නම දුක හිතෙන්නෙ , ඒ කියපු දේවල් ඇවිල්ල අපේ ඇඟට වැදිලා හානියක් උන නිසාද? නෑ. අපිම හදාගත්තු අපේ මානසික ප්‍රතිරූපයටයි මේ දුක.  අපිට කවුරුහරි හොඳ කිව්වම සතුටු හිතෙන්නෙත් මේ හේතුව නිසාමයි. 

භෞතික ශරීරයක් ලැබිච්ච නිසා අපිට ලෙඩ හැදෙන්න පුලුවන්. අපි මොහොතින් මොහොත වයසට යනවා. අවසානයේ මැරිලා යනවා.මැරිලා පොළවට පස් වෙනවා. මේ දේවල් සිද්ද වෙන හැටි අවබෝධයෙන් දැක්කම මනුශ්‍යයෙක්ට පුලුවන් සමතුලිතව , මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින්... ඇත්තටම නිවිලා ජීවත් වෙන්න පුලුවන්.

කවදාවත් අවබෝධ වෙච්ච කෙනෙක් නිවීම තව දුරටත් හොයන්නෙ නෑ. නිවීම තුළ පවතිනවා මිසක්.