Wednesday, March 1, 2017

අපි භෞතික ලෝකයක ජීවත් වෙන මිනිස්සු



මේ අපි භෞතික ලෝකයක ජීවත් වෙන භෞතික ශරීර තියන මිනිස්සු.එතකොට අපේ අත්දැකීම් බොහෝමයක් ඇත්තටම භෞතිකයි. උදාහරණ වශයෙන් පැහැදිලි කරොත් මිනිස්සු වෙන අපිට බඩගිනි දැනෙනවා. ඒ වෙලාවට අපි කෑම කෑවම මේ බඩගින්න නිවෙනවා. ඊලඟට තිබහ ආවම, වතුර බිව්වම ඒක නිවෙනවා. අපිට නිදිමත දැනෙනවා. නිදා ගත්තම සනීපයි.වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති උනොත් ඒක පිට කරාම නැවත සනීපයක් තමයි ඇති වෙන්නෙ.  ඔය විදියට අපිට මේ මනුශ්‍ය ශරීරයක් ලැබුන හින්දා භෞතික දැනීම් අනුව අවශ්‍යතා ඇති වෙලා තියනවා. 

හැබැයි ඔන්න බඩගිනි වෙලා ඕනෙවට වඩා කෑවොත් මොකද වෙන්නෙ.අපහසුයි.  ඒ වගේම අඩුවෙන් කෑවොත් මොකද වෙන්නෙ. වැඩිපුර කෑවත් , අඩුවෙන් කෑවත් ඇති වෙන්නෙ අපහසුවක්.හැබැයි ප්‍රමාණයට කෑවොත් දැනෙන්නෙ පහසුවක්. නිදිමතයි කියලා ඕනෙවට වඩා නිදා ගත්තත් අමාරුයි. අඩුවෙන් නිදා ගත්තත් එහෙමයි.ඉතින් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි අපේ ශරීරයට වඩාත් පහසුවක් දැනෙන විදියට ජීවත් වෙන්න.

මේව ඇත්තටම භෞතික ශරීරයක් ලැබිච්ච හින්දා දැනෙන දැනීම්. එතකොට නිකමට හිතන්න කවුරුහරි මනුශ්‍යයෙක් එයාට මේ ඇති වෙන භෞතික දැනීම් අනුව ජීවත් වෙනවා කියලා.. එතකොට ඒ කෙනාගෙ ජීවිතේ ගොඩාක් පහසු වෙනවා. මොකද බඩගිනි දැනුනම කනවනම්, නිදිමත ආවම නිදා ගන්නවනම් එයා එයාගෙ මේ භෞතික ශරීරය ට දැනෙන දැනීම් අනුව ජීවත් වෙනවා.ජීවිතේ බොහොම සරලයි.

කොහොමද මේ පැවැත්ම සංකීර්ණ උනේ. දැන් කොතනද ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ.පොඩි කාලෙ ඉඳන් ළමයින්ට උගන්නවා දවසට කන්න පුලුවන් වේල් තුනයි. ඒක කන්නෙත් වෙලාවට.එතකොට කන වෙලාවල් කාල සටහන් දෙනවා. ඊලඟට නිදා ගන්න වෙලාවක් දෙනවා.මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකල් විතරයි නිදා ගන්න පුලුවන් කියලා නීති දානවා. ඔය විදියට කාලයට අහු කරනවා. එතකොට මේ පුන්චි ළමයි කන්නෙ තමන්ගෙ ශරීරයට බඩගිනි දැනිලා නෙවෙයි අර දීපු කාල සටහනට. එතකොට නිදා ගන්නෙ නිදිමතට නෙවෙයි.කාල සටහනට. මෙහෙම උනාම මේ ළමයින් තුල ඇති වෙන්නෙ  මහා අසමතුලිත භාවයක්.  තමන්ගෙ ශරීරයට දැනෙන දේ අනුව නෙවෙයි ඒගොල්ලන්ගෙ අවශ්‍යතා සිද්ධ වෙන්නෙ. එතකොට බිහිවෙන්නෙ හිරවෙච්ච, බොහොම අසමතුලිත මිනිස්සු.

කොහොමද මිනිස්සු මේ තත්වයට ඇත්තටම පත් උනේ? මනස නිසාමයි. මොකද මනසින් කොටු, රාමු හැදුවා. හදලා ඒවා ඇතුලෙ මිනිස්සු හිර උනා. ඊට පස්සෙ මිනිස්සු මුල් තැන දුන්නෙ තමන්ගෙ ශාරීරික අවශ්‍යතා වලට නෙවෙයි මානසික අවශ්‍යතාවලට.  මනසේ අවශ්‍යතා හරිම සංකීර්ණයි. ඉශ්ඨ කරලා ඉවරයක් කරන්න බෑ. ඒකනෙ ගොඩක් මිනිස්සු අසංතෘප්ත තත්වයෙන් ජීවත් වෙන්නෙ.

ශාරිරික අවශ්‍යතා සරලයි. මානසික අවශ්‍යතා වගේ නෙවෙයි. ඒකයි මේ ශරීරයට දැනෙන දැනීම් අනුව ජීවත් වෙච්ච පුරාණ කාල වල මිනිස්සු බොහොම සංතෘප්තියෙන් හා සතුටෙන් ජීවත් වුනේ.

නිවීම කියන එක භෞතිකයි. අපි ජීවත් වෙන්නෙ මේ නිවීම තුළමයි. අපිට වෙලා තියෙන්නෙ අපි මානසික ලෝකයක් හා මම කියලා කෙනෙක් හදාගෙන කිසිම තේරුමක් නැතිව දුක් විඳිනවා. අපිට මේ භෞතික ලෝකෙක භෞතිකව ඉන්න අපේ ස්වභාවය පේන්නෙ නෑ. අපිට පේන්නෙ මානසිකව හදා ගත්තු මම. ඒකයි දුක ඇති වෙන්නෙ.

අපිට කවුරුහරි බැන්නම දුක හිතෙන්නෙ , ඒ කියපු දේවල් ඇවිල්ල අපේ ඇඟට වැදිලා හානියක් උන නිසාද? නෑ. අපිම හදාගත්තු අපේ මානසික ප්‍රතිරූපයටයි මේ දුක.  අපිට කවුරුහරි හොඳ කිව්වම සතුටු හිතෙන්නෙත් මේ හේතුව නිසාමයි. 

භෞතික ශරීරයක් ලැබිච්ච නිසා අපිට ලෙඩ හැදෙන්න පුලුවන්. අපි මොහොතින් මොහොත වයසට යනවා. අවසානයේ මැරිලා යනවා.මැරිලා පොළවට පස් වෙනවා. මේ දේවල් සිද්ද වෙන හැටි අවබෝධයෙන් දැක්කම මනුශ්‍යයෙක්ට පුලුවන් සමතුලිතව , මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින්... ඇත්තටම නිවිලා ජීවත් වෙන්න පුලුවන්.

කවදාවත් අවබෝධ වෙච්ච කෙනෙක් නිවීම තව දුරටත් හොයන්නෙ නෑ. නිවීම තුළ පවතිනවා මිසක්.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.