Friday, March 24, 2017

සිත දමනය කිරීමෙන් මාර බැම්මෙන් මිදිය හැක



අපේ සිත නිවී නොපවතින හැම අවස්ථාවකම මේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. ඒ කියන්නෙ  ඇත්තටම මාර ස්වභාවය තමයි බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද අපි මේ ස්වභාවයට හසු නොවී ජීවත් වෙන්නෙ. තමන්ගෙ මනස මාර ස්වභාවය ට අසු වුනොත් ගලවා ගැනීම ටිකක් අමාරුයි.

මේක ක්‍රියාත්මක වෙන්නෙ හරියට මෙන්න මේ වගේ. අපි යම් දෙයක් හෝ කෙනෙක් සමග දැඩි ආශාවකින් බැඳුනොත් අන්න ඒ මොහොතේ අපි මාරයාගේ ග්‍රහණයට අහු වෙනවා. මොකද ඒක මාර බන්ධනයක්. ඒ මොහොතේ අපේ සිතේ නිවුණ ස්වභාවය නැති වෙනවා. සැහැල්ලු බව නැති වෙලා බර වැඩි වෙනවා. අකුසල් සිත් පහල වෙනවා. අපි වීර්යයෙන් මෙයින් මිදිය යුතුයි. මාරයා අපි ඉදිරියට එන්නෙ සසර කර උඩ තියාගෙන කියලයි මට හිතෙන්නෙ. මාරයාට අහුවෙන හැම මොහොතකම අපි සසරට අහු වෙනවා.

ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නෙ බාහිර ලෝකයේ කෙනෙක්, දෙයක් හෝ අදහසක වත් නෙවේ. ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසෙ. මට බැහැ කවදාවත් කාවවත් හෝ දෙයක් පෙන්නලා ඔය එන්නෙ මාරයා කියලා නමක් දෙන්න.  අපේ ඇස , කන, නාසය, දිව , ශරීරය ඔස්සේ අපිට ඇතිවෙන අරමුණු වලින් අපි සසරට අහුවෙන්න පුලුවන්. අන්න එහෙම අරමුණක් මනස අල්ලා ගන්නා මොහොතෙදි අපි මාර ස්වභාවයට අහු වෙනවා.


බුදුන් වහන්සේ කිව්වෙ  දුර ගමන් යන -තනිව හැසිරෙන- සිරුරක් නැති -ශරීර කූඩුවෙහි වාසය කරන -සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි.  එතකොට මාර බන්ධනය බලපාන්නෙ අපේ සිතට. අපි නිරන්තරයෙන් සිහියෙන් ක්‍රියා කළ යුතුයි. සම්මා සතියෙන් හෙවත් යහපත් සිහියෙන් ජීවත් වෙන හැම මොහොතකම අපි ජීවත් වෙන්නෙ දමනය වූ සිත් ඇතිව.

 අපි එකිනෙකා ඇලීමට හෝ ගැටීමකට හසු වෙන ආකාරය එකිනෙකාට වෙනස්. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්තයේ ඉන්න සිත බොහොම නිවිලා. කිසි දෙයක් භාර ගන්නේවත් ප්‍රතික්ශේප කරන්නේවත් නැති සිත පිවිතුරුයි.

අපේ ඇස් ඉස්සරහට  අපි මොනතරම් කැම්ති රූපයක් ආවත් අපි ඒකට ඇලිලා, බැඳෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් , එතෙන්දි අපි ඒ රූපෙ දැක්කා, ලස්සනයි, හොඳයි කියලා දැක්කා ඒක එච්චරයි නම් සිතුවිලි ඔස්සේ ඉස්සරහට ගෙනියන්නෙ නැත්නම් එතන්දි සිද්ද වෙන්නෙ "දැක්කොත් දැක්කා පමණයි" කියන දෙය. අන්න එහෙම කෙනෙක් ගෙ සිත රූපයකට ඇලිලා ඇති වෙන්න පුලුවන් මාර බන්ධනයෙන් මිදිලා. එලියෙ චලනයක් උනාට ඇතුලත චලනයක් වෙන්නෙ නෑ.

මේකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන්. අපි දකින්න අකැමතිම රූපයක් අපි ඉස්සරහට එනවා කියලා හිතන්න. ඒ ආවම අපිට කේන්ති යනවා නම්, තරහෙන් පුපුරනවා නම් එතකොට ද්වෙශය ඇති වෙලා සිතුවිලි එක්ක දුර ගමනක් යනවා නම් අන්න එතකොට අපි අහු වෙන්නෙත් මාර ස්වභාවයට. මොකද එතෙන්දි අපේ හිතේ ඇති වෙන්නෙ ගැටීමක්.

අපේ කනට පුදුමාකාර මදුර ස්වරයක් ඇහිලා අපි ඒකට ඇලුනොත් නැත්නම් අමිහිරි ශබ්දයක් නිසා තරහ ගිහින් ඒකෙ ගැටුනොත් සහ ඒක මනසින් අල්ලා ගත්තොත් ඒ තැන් දෙකේදිම අපි අහුවෙන්නෙ මාර ස්වභාවයට. අපි පත් වෙන්න ඕනෙ තැන තමයි "ඇහුවොත් ඇහුවා පමණයි" කියන තැනට.

අපිට අපි කැමතිම පහසක් ශරීරයට දැනෙනවා කියලා හිතන්න. අපි මේකට දැඩිව ඇලිලා මනසින් අල්ලගෙන මේ ඔස්සේ දිග සිතුවිලි ට්‍රිප් එකක ගියොත් නැත්නම් මේක නැවත නැවත වින්දනය කිරීමේ සිතුවිල්ලක් ඇති කර ගත්තොත්  අන්න එතෙන්දි අපේ සිතේ සිහිය, නිවීම නැති වෙනවා. එතනදී අපේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. අපි පත් වෙන්න ඕනෙ "වින්දොත් වින්දා පමණයි" කියන තැනට.

පළවෙනිම දේ තමයි තමන්ගේ සිත දමනය කර ගැනිම. සිත දමනය වෙච්ච නැති කෙනෙක් තුල ඇති වෙන්නෙ අවුල් ස්වභාවයක්. සමහර අවස්ථාවල අපේ හිත අපිව පිස්සු වට්ටනවා. ඒ විතරක් නෙවෙයි අපිව පාලනය කරනවා. අපේ සිත අපිව සිතුවිලි ඔස්සේ එයාට ඕනෙ ඕනෙ තැන්වල අරන් යනවා. එතකොට අපිට සිහිය පිහිටන්නෙ නෑ.

නිතර භාවනා නොකළත් අඩුම තරමෙ අපි පුරුදු වෙන්න ඕනෙ මේ මොහොතේ ජීවත් වෙන්න. මගේ ආධ්‍යාත්මික ගුරුතුමා මට කිව්වෙ සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරක්ම බවයි. අනෙක් සියලු මොහොතවල් හෙවත් අනගතයේ එන්ඩ තියන මොහොතවල් නැත්නම් අතීතයේ පහු ගිය මොහොතවල් ඔක්කොම බොරු. මොකද ඒ කිසිම මොහොතක් එක්කො ඇවිත් නෑ, නැත්නම් ගිහිල්ලා ඉවරයි.  සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරයි.

මේ මොහොතෙ ජීවත් වෙද්දි අපේ පන්චේන්ද්‍රිය අරමුණු වලට හසු වෙන ස්වභාවය  සහ වේගය අඩු වෙනවා.  සිතුවිලි පරම්පරා හද හදා සසර නිර්මාණය වීම පවා නවතිනවා.  එක එක්කෙනාගෙ මති මතාන්තර නැත්නම් අපේ මතකයන් අපේ සිත් මුළාකරන්නෙ නෑ මේ මොහොතේ විතරක්ම පවතිද්දි. සම්මා සතිය තුල පිහිටන්න පුලුවන්.

මේ මුලු ලෝකයම මහා මායාවක්. ඇත්තටම බොරුවක්. සිහිනයක්. ඉතින් ඒකෙන්ම අපි අවබෝධ කරන්න ඕනෙ මේක මාර ලෝකයක් බව. බුද්ධ ස්වභාවය /බුදු ගුණය ට වඩා මේ ලෝකෙ නැඹුරු වෙලා තියෙන්නෙ අපේ සිත් මාර බන්ධන (ඇලීම්, ගැටීම්) වලට හසු කිරීමට.


මනුෂ්‍යයා කියන කෙනා ස්වභාවයෙන්ම අප්‍රමාණ මයිත්‍රීයක් තියන කෙනෙක්. ඒ මයිත්‍රීය බොහෝ දුරට අපිට අවබෝධය ලබන්න උපකාර වෙනවා. 

අපේ සිත කිසිම මාර බන්ධනයකට හසු වෙන්න ඉඩ නොදී , නිවීම තුලම ජීවත් වීමට අපි සියල්ලෝම වීර්යය කළ යුතුයි.


No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.