Saturday, June 3, 2017

සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ


අපි ජීවත් වන ලෝකය විශාල මායාවක්. අපේ ඇස , කන, නාසය, දිව ශරීරය තුළින් අපි ඇතුලට ගන්න තොරතුරු ඇත්තෙන්ම සියයට සීයක් නිවැරදි නොවේ.මොකද අපිට ඇහෙන ශබ්දයක් බල්ලෙක්ට නැත්නම් කුරුල්ලෙක්ට ආදී වෙනත් සතකුට මීට වඩා තීව්‍ර ලෙස ඇහෙන්නට පුලුවන්. ඒ වගේම එකම රූපය දිහා අපි දෙන්නෙක් බැලුවොත් පේන්නෙ දෙවිදියකට. එතකොට මොකද්ද ඇත්ත. ඒ විතරක්ම නෙවෙයි දැන් මේ පන්චේන්ද්‍රියෙන් ගන්න තොරතුරු වලින් මනස අපිට කියන කතන්දර දිහා බලන්න. ඒ දේවල් මොනතරම් බොරුද. සාපේක්ෂද? එතකොට සාපේක්ෂ ලෝකයක එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ.

එකම සිදුවීම දිහා අපි කීප දෙනෙක් බැලුවත් ඒ කීප දෙනා විවිධ අදහස් පළ කරනවා. මොකද සාපේක්ෂයි. සාපේක්ෂ තාවයට අහුවෙලා ඉන්න තාක් අපි සම්පූර්ණ සැනසීමක් අත් විඳින්නෙ නෑ.

නමුත් සිතුවිලි නොවන අපිට දැනෙන දේවල් තියනවා. දැනෙන දේවල් සිතුවිලි වලට වඩා බොහෝ සෙයින් සත්‍යයි. අපේ හදවතට සැබෑ ආදරය දැනෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැති සැබෑ ආදරය දැනෙන්නෙ හදවතට.

ජීවත් වෙන්න පුලුවන් පහසුම විදිය තමයි බලාපොරොත්තුවකින් තොරව ජීවත් වීම. හොඳට බැලුවම අපිට මොකක්ද පේන්නෙ. බොහෝ අය දෙවල් කරන්නෙ බලාපොරොත්තු ඇතුව. තමන්ට ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇතුව. ඒත් ඒ අතර සමහර අය ඉන්නවා එයාලා කිසිම බලාපොරොත්තුවකින් තොරව දෙනවා. දන් දීම තුලින් මිනිස්සු පින් හරි බලාපොරොත්තු වෙනවා. එතෙන්දි සැබෑ දානයක් සිද්ද වෙන්නෙ නෑ. නැත්තම් මිනිස්සු කියනවා මන් අරය වෙනුවෙන් මෙච්චර කරා. මෙයා වෙනුවෙන් මෙච්චර කලා මොනවද ලැබුණෙ කියලා. ඒ කරලා තියන්නෙ ලැබෙයි කියලා හිතාගෙන.  මයිත්‍රීය කියන්නෙ බලාපොරොත්තුවකින් තොරව දීම. කරුණාවන්ත හිනාවක් හදවතට එකඟව තව කෙනෙක්ට දෙන්න පුලුවන් මනුස්සයෙක් ඇත්තටම දේවල් බලාපොරොත්තුවෙන් අනික් අයට යමක් කරන අයට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි.

මේ ලෝකය තුල පවතින්නෙ මායාවක්, නැත්තම මේක සිහිනයක්. හැබැයි සීයට අනූ නවයක් මිනිස්සු හිතන් ඉන්නවා මේ හීනය ඇත්තක් කියලා. ඉතින් මේගොල්ලො මේ හීනය විවිධ අයුරින් පාට කරනවා. හැඩ කරනවා. තේරුමක් තියනවද? නෑ. අවුරුදු සීයක් වැඩිම උනොත් ජීවත් වෙන අපි මේ මනුස්ස ජීවිතේ ඇත්තක් කියලා හිතන් කවදාවත් නොයෙන හෙටක් ගැන හීන දකිමින් ජීවත් වෙනවා.  මේක තේරුම් ගන්න ටිඅක අමාරුයි. තේරුම් කරන්නත් අමාරුයි. හීනයක් ඇතුලෙ හීන දැක දැක ඉන්න මිනිස්සු මේවා පිලිගන්නෙ නෑ. ලෝකය මායවක් කිව්වම එහෙම කියන කෙනා පිස්සෙක් කියලා කියනවා.

ඒ වගේම විශාල බැඳීම තොගයක් කර පින්නගෙන ඉන්න මිනිස්සු මේ බැඳීම් වල පැටලිලා. එක එක බැඳීම් වල අය කියන දේවල් කරන්න ඒ බැඳීම් සතුටු කරන්න නොනවතින අරගලයක යෙදෙනවා. පුලුවන් තරම් මේවායින් නිදහස් වූ තරමට ජීවිතය තෘපතිමත්. සැහැල්ලුයි.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. හුදකලා විය යුතුයි කියලා. ජීවිතේ පුලුවන් දෙයක් බලාපොරොත්තුවකින් තොරව කරලා සතුටෙන් නිදහසේ තෘප්තිමත්ව ඕනෙ කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න පුලුවන් කෙනෙක්ට  ඇත්තටම සන්සුන් මනසකින් ජීවත් වෙන්න පුලුවන්.


බලාපොරොත්තුවක් නැති තැන කොයින්ද දුකක්? අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකෙ හැමදේම අපිට ඕනෙ විදියට සිද්ද වෙන්නෙ නෑ. අපිට පුලුවන් එකම දේ වෙන දේකට මුහුණ දීගෙන ජීවත් වෙන එක. 

අපේ හිත ගොඩක් වෙලාවට අපිව රවට්ටනවා. අපිට නොයෙකුත් කතන්දර කියනවා. ජීවිතේ යම් යම් සිදුවීම් උනාම අපේ මේ හිත අපිට මොනතරම් කතන්දර කියනවද? ඒව පට්ටපල් බොරු. සසර නිර්මාණය වෙන්නෙ මේ සාපේක්ෂ සිතුවිලි නිසාමයි.

විවේකයෙන් ඉන්න වෙලාවට අපිට පුලුවන් අපේ හිත දිහා බලන් ඉන්න. සිතුවිලි එනවා. යනවා. ඒක නවත්තන්නේ නැතුව මොන වගේ සිතුවිල්ලක් ආවත් ඒ දිහා බලා හිටියම ඒකෙන්ම ඒක නැතිවෙලා යනවා.
හමු වෙන හැම කෙනෙක්ම , වෙන හැම සිදුවීමක්ම තමන්ගෙ සංසාර ගමන කෙළවර කරගන්න හේතුවෙන, එතෙර වෙන්නදොරක් බවට පත් කර ගන්න. .

 මේ සසර ගමනේ කටුක බව නිතර අවබෝධ වෙද්දි හැම මොහොතකම මේකෙන් එතෙර වෙනවා කියන අදිෂ්ඨානය ශක්තිමත් වෙනවා. ඒක සිතුවිල්ලක් විතරක් කර නොගෙන හැම මොහොතකම ඒ ගමනට සූදනම් වෙන කෙනෙක් ට උතුම් ඌ නිවන ළඟා වෙනවා. ඒක හරියට අපි නින්දට සූදානම් වෙනවා වගේ. ඒ කියන්නෙ අපි කොට්ටෙකට ඔලුව තියාගෙන නින්දට ලෑස්ති වෙනවා. එහෙම උනාම යම් මොහොතක් නින්ද අප වෙත ළඟා වෙනවා.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.